රසකිඳ: අමෘත වර්ෂාවෙන් උපන් දිව්‍යමය ඔසුව
ජනප්‍රවාදයට අනුව, රාම-රාවණ යුද්ධයේදී මියගිය වානර හමුදාවට පණ ලබා දීම සඳහා සක් දෙවියන් විසින් එවූ "අමෘත වර්ෂාවෙන්" රසකිඳ ශාකය හටගත් බව පැවසෙනවා. මේ නිසාම "නොමැරෙන" යන අරුත ඇති අමර්, අමෘතා, අම්රිතාවල්ලි වැනි නම්වලින් ද මෙය හඳුන්වනු ලබනවා.
සැබැවින්ම රසකිඳ යනු ප්‍රාණය ආරක්ෂා කරමින්, නිරෝගීතාව සහ දීර්ඝායුෂ ලබා දෙන ඉතා වටිනා ඖෂධීය වැල් ශාකයක්.
ශාකයේ ස්වභාවය
රසකිඳ යනු විශාල ගස් මත පැතිරී වැඩෙන වැල් වර්ගයක්.
එහි පත්‍ර හෘදයාකාර හැඩයක් ගන්නා අතර මල් කොළ මිශ්‍ර කහ පැහැතියි.
මෙහි ගෙඩි ඉදුණු විට දීප්තිමත් රතු පැහැයක් ගනී.
කඳෙන් පොළොවට මුල් අදින අතර, වැල්වලින් නූල් වැනි කොටස් පහළට එල්ලෙනු දැකිය හැකියි.
මෙය Menispermaceae කුලයට අයත් වන අතර ඉංග්‍රීසි බසින් Heart leaved moonseed ලෙසත්, ආයුර්වේදයේ ගුඩුචි (Guduchi) හෝ ගිලෝයි (Giloya) ලෙසත් හඳුන්වනවා.
පෝෂණ ගුණය සහ රසායනික සංයුතිය
රසකිඳ ශාකය අපගේ සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ රැසකින් පොහොසත් ය:
පෝෂක: විටමින් C, යකඩ, කැල්සියම්, ප්‍රෝටීන්, තන්තු සහ කාබොහයිඩ්‍රේට්.
ස්වාභාවික රසායන: ටැනින්, සැපොනින්, ප්ලේවනොයිඩ සහ ඇල්කලොයිඩ.
ගුණාංග: ප්‍රතිශක්තිකරණ වර්ධක, ප්‍රතිප්‍රදාහ, ප්‍රතිජීවක සහ ප්‍රතිබැක්ටීරියා ගුණයෙන් යුක්තයි.
රසකිඳවලින් ලැබෙන සෞඛ්‍ය වාසි
ආයුර්වේදයට අනුව මෙය ශරීරයේ වාත, පිත, කප යන තුන්දොස් සමතුලිත කරන ඔසුවකි.
1. හෘද හා රුධිර පද්ධතිය
රුධිරය වර්ධනය කරන අතර රුධිරය පිරිසිදු කරයි.
නීරක්තිය (ලේ අඩුකම) දුරු කරයි.
රුධිරගත කොලෙස්ටරෝල් පාලනය කර හදවත නිරෝගී කරයි.
2. ශ්වසන සහ ජීර්ණ පද්ධතිය
කැස්ස, ඇදුම සහ සෙම්ගෙඩි වැනි ශ්වසන රෝග පාලනය කරයි.
ආහාර රුචිය වඩවන අතර බඩ දැවිල්ල, අම්ලපිත්ත (Gastritis), මලබද්ධය සහ අර්ශස් රෝගවලට ගුණදායකයි.
3. දියවැඩියාව සහ අස්ථි පද්ධතිය
රුධිරගත සීනි පාලනය කරමින් දෙවන වර්ගයේ දියවැඩියාව පාලනය කිරීමට උපකාරී වේ.
අස්ථි පද්ධතිය ශක්තිමත් කර ආතරයිටිස් සහ ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග වළක්වයි.
4. මානසික සුවය සහ රූපලාවණ්‍ය
මතක ශක්තිය වර්ධනය කරන අතර මානසික ආතතිය දුරු කරයි.
දද, කුෂ්ඨ, පොතුකබර වැනි චර්ම රෝග සුවපත් කරයි.
සම වියපත්වීම පමා කර තරුණ පෙනුම රැක දෙයි.
භාවිත කරන ආකාරය
රසකිඳ ශාකයේ පත්‍ර, මුල් සහ වැල් විවිධ ක්‍රමවලට භාවිත කළ හැකියි.
ආහාර ලෙස: ළපටි කොළ සලාද, මැල්ලුම් හෝ කැඳ සඳහා යොදා ගනී.
පානයක් ලෙස: වැල් තම්බා පානය කළ හැකියි.
ප්‍රතිකාර ලෙස:
සෙංගමාලයට: රසකිඳ කොළ කැඳ හෝ කොළ කල්කය මෝරු සමග පානය කිරීම.
අර්ශස්වලට: රසකිඳ යුෂ හෝ චූර්ණය මෝරු සමග ලබා දීම.
පිළිස්සුම් තුවාලවලට: කොළ ඇල්දියෙන් අඹරා ආලේප කිරීම.
රසකිඳ සහ නෙල්ලි පානය
රසකිඳ වැල් සහ නෙල්ලි සමානව ගෙන තම්බා සාදාගන්නා පානය සිරුරේ දාහය නිවා ප්‍රතිශක්තිය වැඩීමට ඉතා ප්‍රබලයි. කොළඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ආයතනය සහ කරාපිටිය ශල්‍ය වෛද්‍ය අංශය එක්ව කළ පර්යේෂණයකින් මෙම පානය මගින් පිළිකා සෛල විනාශ වන බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.
මෙම වටිනා ඔසුව ඔබේ දෛනික ජීවිතයට එක්කර ගැනීමෙන් නිරෝගී දිවියක් උදා කරගත හැකියි.
Leave a comment
Your email address will not be published. Required fields are marked *
