නිල් අවරිය: සොබාදහමේ නිල් දායාදය සහ එහි විස්මිත ඔසු ගුණ
නිල් අවරිය ( Indigofera tinctoria ) යනු ශ්‍රී ලංකාවට ආවේණික, වසර ගණනාවක සිට අපේ හෙළ වෙදකමේ මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයේද ඉහළ වටිනාකමක් හිමි කරගත් කුඩා පඳුරු සහිත ශාකයකි . ශ්‍රී ලංකාවේ තෙත් සහ අතරමැදි කලාපවල මෙන්ම ඇතැම් විට මඟ දෙපස වල් පැළෑටියක් ලෙසද මෙය බහුලව දැකගත හැකිය.
ශාකය හඳුනා ගනිමු
- මෙය මීටර් 2ක් පමණ උසට වැඩෙන කුඩා ශාකයකි.
- මෙහි අතු බෙදුණු කඳ ළපටි කාලයේදී සුදු පැහැති සියුම් බූවකින් වැසී පවතී.
- පත්රිකා යුගල වශයෙන් පිහිටන අතර, පත්‍රවල උඩ පෘෂ්ඨය දීප්තිමත් කොළ පැහැයෙන්ද යටි පෘෂ්ඨය රිදී පැහැයට හුරු සියුම් බූවකින්ද සමන්විතය.
- මෙහි මල් රෝස හෝ රතු පැහැති වන අතර ඒවා පොකුරු ලෙස හටගනී.
- කරල් සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර, මෝරා ඉදුණු විට තද දුඹුරු පැහැයක් ගනී . එක් කරලක් තුළ බීජ 8-12ක් පමණ අඩංගු වේ.
ස්වභාවික වර්ණකාරකයක් ලෙස
කෘතිම ඩයි වර්ග සොයා ගැනීමට පෙර, ලොව පුරා රෙදිපිළි සහ සිවුරු වර්ණ ගැන්වීම සඳහා නිල් අවරිය ප්‍රධානතම ස්වභාවික නිල් වර්ණකය ලෙස භාවිතා කරන ලදී . අතීතයේ විහාර සිතුවම් ඇඳීමේදී පවා මෙම වර්ණකය යොදාගෙන තිබේ . කොළ ඉත්තක් ජලය සහිත බඳුනකට දැමූ විට පවා එම ජලය නිල් පැහැ ගැන්වීමට තරම් මෙහි වර්ණක බලය ප්‍රබල වේ.
රෝග රැසකට ගුණ දෙන ඔසුවක්
නිල් අවරිය යනු ශාකයේ පංචාංගයම (මුල්, කොළ, මල්, පොතු, ගෙඩි) ඖෂධ පිණිස යොදාගත හැකි වටිනා ඔසුවකි.
- කේෂ වර්ධනයට: අකලට හිසකෙස් වැටීම පාලනය කිරීමට සහ හිසකෙස් කළු කිරීමට නිල් අවරිය යුෂ යොදා සිඳ ගත් නීල්යාදී තෛලය ඉතා ප්‍රකටය.
- විෂ නාශකයක් ලෙස: සර්ප විෂ, පිස්සු බලු විෂ සහ මී විෂ නසන ගුණයක් මෙහි පවතී.
- චර්ම රෝග: උඳුගොව්වා කෑම, කුෂ්ඨ සහ තුවාල සුව කිරීමට නිල් අවරිය කොළ අඹරා ආලේප කරනු ලැබේ.
- ස්වසන රෝග: ඇදුම, ක්ෂය රෝගය සහ කැස්ස වැනි රෝගී තත්ත්වයන් සඳහා මුල් චූර්ණය ඖෂධ ලෙස භාවිතා කරයි.
- වෙනත් ගුණ: මුත්‍රා ගල් දිය කිරීමට, ඉදිමුම් නැසීමට සහ දත් කැක්කුම සමනය කිරීමටද මෙය මහඟු ඔසුවකි .
නිල් අවරිය යනු අප අවට පරිසරයේ වැඩෙන, නමුත් බොහෝ දෙනෙකුට එහි වටිනාකම අමතක වී ගිය ශාකයකි. අපේ පාරම්පරික දැනුම මතු පරපුරට රැක දීමටත්, මෙවැනි වටිනා ඔසු පැල ආරක්ෂා කිරීමටත් අප උනන්දු විය යුතුය.
Leave a comment
Your email address will not be published. Required fields are marked *
